“නාල්ල ත්‍රිපුද්ගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ලක්ෂ 14 ක ත්‍යාග මුදලක් “

2024.05.19 වන දින නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එදින අළුයම පාපැදියක් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශනයේ දී එම සැකකරු ත්‍රිපුද්ගල ඝාතනයක් සිදුකර දේපල සොරකම් කර පළා යමින් සිටි සැකකරුවෙකු බව අනාවරණය කරගත්හ.

ඵලාදායී ලෙස රාජකාරියේ යෙදී සිටිමින්, රාජකාරිය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් පොලිස් නිලධාරියෙකුගේ භූමිකාව එසේ ප්‍රසංසනීය ලෙස විදහා දැක්වූ මෙම නිලධාරීන් කණ්ඩායම 2024.05.21 වන අද දින උදෑසන බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඇගයීමට ලක්කෙරුනි.

එහිදී කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්ෂකවරයා හට පොලිස් ප්‍රශංසාවක් මෙන්ම අන් නිලධාරීන් තිදෙනා වෙත පොලිස් ත්‍යාග අරමුදලින් පිරිනැමීමට නියමිත ලක්ෂ 14 ක මුදලින් අඩක් පිරිනමන ලදී.