සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ත්‍රිත්ව ඝාතනයක් සිදුකර පළායමින් සිටි සැකකරුවෙක්

නාල්ල පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් 2024.05.19 වන අද දින අළුයම නාල්ල පොලිස් වසමේ මාලදෙණිය ප්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි සැක සහිත පුද්ගල‌යෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබූ ගමන් බෑගයක තිබී රුපියල් 255,000/= කට ආසන්න මුදලක්, රන් මාලයක්, මුදු දෙකක්,කටර් අඬුවක් සහ කුඩා පිහියක් සමඟ නමක් සහ ලිපිනය සඳහන්ව තිබූ කාඩ් පතක් සොයාගෙන තිබේ.

හමුවූ ඉහත දේපළ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා මෙම පුද්ගලයා එම අවස්ථාවේදීම පාපැදිය සමඟ සැකපිට අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් ක්‍රියා ඇති අතර පොලිස් නිලධාරීන් ගමන් බෑගයෙන් හමුවූ කාඩ්පතෙහි සඳහන් ලිපිනයෙහි සඳහන් නාල්ල පොලිස් වසමේ මාලදෙණිය කිතලවලාන ප්‍රදේශය් පිහිටි නිවසක් වෙත ගොස් පරීක්ෂා කර ඇත.

එහිදී නිවස තුල ඝාතනයට ලක්ව සිටි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකුගේ මෘත ශරීර හමු වී ඇති අතර ඒ අනුව සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට ගත් සැකකරු නිවසේ විදුලිය විසන්දි කර මෙම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතන සිදු කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ඇති බවට අනාවරණය වී ඇත.

මරණකරුවන් අවුරුදු 80, 78 හා 42 වයස් වල පසු වන සමීප ඥාතීන් වන අතර සැකකරු වයස අවුරුදු 42ක් වු හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි මරණකරුවන්ගේ සමීප ඥාතීයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශන මගින් අනාවරණය වී ඇත.

නාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සියුම් හෝඩුවාවන් මගින් සුපරීක්ෂාකාරීව සිදුකල විමර්ශනය මගින් මෙම සාහසික ඝාතනයේ සැකකරු අනාවරණය කරගත් නාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත පොලිස්පතිතුමා විසින් ඉදිරියේදී ත්‍යාග සහ ප්‍රශංසා පිරිනැමීමට කටයුතු කරනු ඇත.