හලාවත ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

හලාවත පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.05.18 වන දින මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් වෙන්නප්පුව මුන්ලයිට් ඔරිල්ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

හලාවත පොලිස් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් කමිටු 322 ක ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් 2000 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පතිතුමා විසින් කමිටු සාමාජිකයින් අමතන ලදි. එහිදී ප්‍රදේශයේ අපරාධ අවම කර ගැනීම සඳහා යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන බවටත් පොලිස් ස්ථාන වලට ලැබෙන පැමිණිලි සම්බන්ධව හා අපරාධ පිළිබඳ ලැබෙන තොරතුරු නිසි පරිදි පොලිස් ස්ථාන මඟින් විමර්ශනය කරන බවට කමිටු සාමාජිකයින් හමුවේ ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවේදී හලාවත කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනු ලබන දරු දැරියන් 12 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමන ලදි.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, හලාවත රෝහල් අධ්‍යක්ෂ ඇන්ටන් පෙරේරා මහතා, ප්‍ර‌දේශයේ පාසල් වල විදුහල්පතිවරුන් හා ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.