මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ උඳුන ක්‍රියාත්මකයි.

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම සඳහා මෙන්ම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවූවන් ඉන් මුදවාගැනීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කල යුක්තිය මෙහෙයුම යටතේ මෑත කාලයේ සිදුකල වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් මගින් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සැකකරුවන් සමඟ ගරු අධිකරණය හමුවේ නඩු කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.

එසේ නඩු කටයුතු අවසන් වන මත්ද්‍රව්‍ය කඩිනමින්, පරිසර හිතකාමී අයුරින් විනාශකිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටෝස් වත්ත නම් පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් භූමි භාගයේ ස්ථාපිත කල දහන උදුනක්(incinerator) භාවිතය ආරම්භ කිරීම ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් 2024.05.18 වන දින සිදුකෙරුණි.

විනාශ කෙ‍රෙන පළමු මත්ද්‍රව්‍ය තොගය ලෙස එම අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් විභාග කර අවසන් වූ නඩු කටයුත්තකට අදාල හෙරොයින් කිලෝග්‍රෑම් 279 යි ග්‍රෑම් 591 ක් සහ අයිස් කිලෝ ග්‍රෑම් 45 යි ග්‍රෑම් 654 ක් ගරු අධිකරණ විනිසුරුවරුන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,මාධ්‍යවේදීන් අභිමුව පූර්ණ විනිවිද බාවයකින් යුතුව විනාශ කෙරුණි.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සඳහා පුත්තලම INSEE සිමෙන්ති කර්මාන්තශාලාව භාවිතාකරමින් රජයට මින් පෙර විශාල මුදලක් වැය කිරීමට සිදුවූ අතර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය, ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම මත පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 11 කට අධික මුදලක් වැයකර මෙම අධිබලැති උදුන ඉදිකරන ලදී.

උදුන තුලදී සෙල්ශියස් අංශක 800 – 1200 අතර දක්වා උෂ්ණත්වයකින් මත්ද්‍රව්‍ය දහනය කර විනාශ කෙරෙන අතර එම උෂ්නත්වය යටතේ මෙම උඳුන පැයක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රෑම් 15ක් සහ ඩීසල් ලීටර් 04ක ප්‍රමාණයක් වැය වේ.

අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය අධිකරණය තුල සැලකිය යුතු කාල සීමාවක් ගබඩාවී නොපැවතීම සඳහා මින් ඉදිරියට 2022 අංක 41 දරණ විෂ අබිං හා අන්තරාදායක ඖෂධ සංශෝධන පනතේ අඩංගු ප්‍රතිපාදන ප්‍රකාරව නඩු කටයුතු අවසන් වීමට පෙර නඩු කටයුතු වලට අදාල මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙනු ඇත.