සමාජ මාධ්‍යන්හි පලවන අසත්‍ය තොරතුරක් පිළිබඳ පැහැදිලි කිරීමක්

යම් පිරිසක් මියගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් සැමරීම සඳහා නැගෙනහිර පළාතේ පොලිස් වසම් කිහිපයක සැමරුම් උත්සව සංවිධානය කිරීමට සුදානම් වන බවට බුද්ධි අංශ පොලිසිය දැනුවත් කර තිබුනි.
විශේෂයෙන්ම මෙම පිරිසගේ අරමුණ 2009 වසරේ වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේ මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම බව පොලීසිය වෙත තොරතුරු වාර්තා විය.

ත්‍රීකුණාමලය සාම්පූර් පොලිස් වසමේ මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වෙන බවට ලැබී තිබූ තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මූතූර් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර එම උත්සවය තහනම් කරමින් තහනම් නියෝගයක් ලබා ගෙන තිබේ.

මෙය යම් යම් නිශ්චිත පුද්ගලයන් සඳහා මෙන්ම වෙනත් පුද්ගලයන් වෙනුවෙන් ලබා ගෙන තිබු නියෝගයක් වන අතර සැමරුම් උත්සවයක් සුදානම් කර තිබු ස්ථානයකට සාම්පූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගොස් එම පිරිසට අධිකරණ නියෝගය පෙන්වා එය දැනුම් දීමට කටයුතු කිරීමේදී, එම අධිකරණ නියෝගය ඔවුන් පිළිනොගන්නා බව පවසා එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණ නියෝගය භාර නොගෙන පසුව සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර ඇත.

එහිදී එම අධිකරණ නියෝගය කඩ කරන ලද සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරියගේ දියණිය තම ගෙලට පිහියක් තබා ගෙන ඇය සියදිවි නසා ගන්නා බවට පවසමින් පොලිස් නිලධරයන් වෙත තර්ජනය කර තිබේ. පොලිස් නිලධරයන් විසින් එම තත්වය පාලනය කර එම ස්ථානයේ සිටි සැකකරුවෙකු සහ සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

මෙම සිදුවීමේදී එක් සැකකාරියක් විසින් තියුණු ආයුධයකින් සිදු කරනු ලද පහරදීමක් හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියක්ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි ලෙස දැක්වෙන අධිකරණ නියෝගයකට අකීකරු වීම, අන්තරාදායක ආයුධ වලින් , ක්‍රම වලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම, කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරිම , රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකීකරු වීම හා සාපරාධී බිය ගැන්වීම යන වැරදි මත ඉහත සැකකරු සහ සැකකාරියන් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධරයන් විසින් 2024.05.12 වන දින අත්අඩංගුවට ගත් අතර 2024.05.13 වන දින මූතූර් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මැයි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

මෙම සැකකරු සහ සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේ කැඳ වර්ගයක් බෙදා දිමට කටයුතු කල නිසා බව සමාජ මාධ්‍යජාලා තුල පුවත් පල වන අතර, එය සිදුවීම වැරදි ලෙස වාර්තා කිරීමකි.

ත්‍රීකුණාමලය වරාය සහ උප්පුවේලි යන පොලිස් වසම් තුලත් මෙම සැමරුම් උත්සව පැවැත්වෙන බව බුද්ධි අංශ විසින් වාර්තා කර තිබූ අතර ඒ අනුව එය වැලැක්වීම සඳහා එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් අධිකරණ නියෝග ලබා ගන්නා ලදී. එම අධිකරණ නියෝගයන්ට අවනත වෙමින් අදාල පාර්ශයන් එම පොලිස් වසම් තුල සැමරුම් උත්සව නොපැවැත්වීමට කටයුතු කර ඇත.