විදෙස් යුද්ධයකට මෙරටින් කුලී හේවායින් සපයන ජාවාරම, විශ්‍රාමික යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්, රුසියානු රටෙහි කුලී හේවායින් ලෙස ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් සංචාරක වීසා මත රුසියාවට පිටත්කර හැරීමට කටයුතු කල කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66 සහ 59 වයස්වල පසුවන ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබූ සාජන්මේජර් වරයෙකු සහ මේජර් ජනරාල් වරයෙකු 2024.05.08 වන දින රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත්හ”

යුක්ක්‍රේනය හා රුසියාව යන රටවල් අතර පවතින යුද්ධය සඳහා මෙරට ආරක්ෂක අංශයන්හි සේවය කල පුද්ගලයින් කුලී හේවායින් ලෙස අනුයුක්ත කිරීම ජාවාරම් කරුවන් විසින් දිගින් දිගටම සිදුකරන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

විශාල වැටුපක් ලබාදෙන බව හඟවා සංචාරක වීසා මගින් එම රටවල් කරා මෙසේ අනුයුක්ත කරනු ලබන මෙරට පුරවැසියන් පළමුව යුධ පෙරමුනේ ස්ථාපිත කඳවුරු තුල ආහාර පිසීම වැනි සහයක සේවා රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලබන අතර ඉන් පසු අවි ලබාදී යුධ පෙරමුණ සඳහා යොමුකර තිබේ.

මෙම යුධ රාජකාරි සඳහා යොමුවීමෙන් අනතුරුව නැවත එම සේවයෙන් ඉවත්වීම අවධානම් සහගත ඉතාමත් අපහසු කාර්යයක් බවට පත් වී ඇති බව යම් උපක්‍රම මගින් ඉන් ඉවත්ව ආ පුද්ගලයින් ප්‍රකාශ ලබාදී ඇත.

එක් පුද්ගලයෙකු කිලෝමීටර දහසකට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයක පසුපස රෝදය අසල සැගවී යුධ භූමියෙන් ඉවත්ව පැමිණ ප්‍රකාශ ලබාදී තිබේ.

විදෙස්ගත වන පුද්ගලයින් මෙම ජාවාරම මත විදෙස්ගත වනවාද යන්න නිෂ්චිතවම හඳුනාගැනීම අපහසු බැවින් ශ්‍රී ලංකා පොලිසිය ඔබවෙත දැනුම් දෙන්නේ අතිවිශාල ජීවිත අවධානමක් සහිතව මෙලෙස විදෙස් යුධ පෙරමුණු සඳහා යොමුවීමට නීති විරෝධී ක්‍රම සහ ජාවාරම් මගින් කටයුතු නොකරන ලෙසයි.

එහිදී ඔබ අබාධිත වුවහොත්, තුවාල ලැබුවහොත් හෝ මරණයට පත්වුවහොත් මෙරටට ඔබ පිළිබඳව තොරතුරක් හෝ නොලැබීමේ අවධානමක්ද සහිතයි.