“සුවසාර කැදැල්ල” ව්‍යාපෘතිය, දිවයින පුරා මධ්‍යස්ථාන 256 ක් පිහිටුවීම අරඹයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදවාගැනීම සඳහා යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක පුනුරුත්තාපන ක්‍රියාදාමයේ තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස “සුවසාර කැදැල්ල” නම් ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 256 ක් සමස්ථ දිවයින ආවරණය වන පරිදි පිහිටුවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරමින්, එහි කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටවූ මධ්‍යස්ථාන 11 ක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාව 2024.05.08 වන අද දින උදෑසන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් කොටහේන පරමානන්ද විහාරස්ථානයේදී පැවැත්වුනි.

පොලිස්පතිතුමන් විසින් එම උත්සව අවස්ථාවේ සිට කොළඹ උතුර, දකුණ හා මධ්‍යම කොට්ඨාස වලට අයත් ප්‍රතිකාර සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථාන 11 කට අයත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් 550 දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කරමින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා ඉතිහාසය තුල ක්‍රියාත්මක කල දැවැන්තම වැඩසටහන මෙය බවද ප්‍රකාශ කරන ලද අතර ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම පිරිස ආමන්ත්‍රණය කරමින් මෙම වැඩසටහනෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගෙන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටින ලෙසට දන්වමින් සිය අදහස් දැක්වීය.

ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහභාගීත්වයෙන් සහ මාර්ගෝපදේශකත්වයෙන් දිවයින පුරා පිහිටි ආගමික ස්ථාන වැනි පොදු ස්ථාන මෙම කර්තව්‍ය සඳහා යොදාගැනීමට නියමිත අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට තම ස්වකැමැත්තෙන් මෙම මධ්‍යස්ථාන වෙත යොමුවී දින 14ක පුනුරුත්තාපන වැඩසටහනක් සඳහා සහභාගී විය හැකි වේ.

ඉන් අනතුරුව ඔවුන් සම්බන්ධව පසු විපරමක් සහ උපදේශන පොලිස් නිලධරයන් විසින් සිදුකරනු ලබයි.
උත්සව අවස්ථාව නිමා කරමින් පුනරුත්ථාපනලාභීන් සඳහා පුනුරුත්තාපන වැඩසටහන් පවත්වමින් දායකත්වය දක්වන සමාජ මාතාවන් වෙත සමරු තිළිණ ප්‍රධානය කරන ලද අතර පුනරුත්ථාපන ලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව වියළි සලාක බෙදා දීමටද කටයුතු කරන ලදී.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභ‍ාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන නීතිඥ අසංග කරවිට මහතා, නියෝජ්‍ය පොලිස්පති පරිසර ආරක්ෂණ හා ප්‍රජා පොලිස් දිසාව ජගත් සේරම් මහතා, නියෝජ්‍ය පොලිස්පති අපරාධ දිසාව හා මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.