කිලෝග්‍රෑම් 09 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් STF වැටලීම ‍

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිළධාරීන් යුක්තිය මෙහෙයුමට සමගාමිව දෛනිකව සිදු කරනු ලබන වැටලීම් අතරතුර ලද තොරතුරක් මත 2024.03.02 වන දින දහවල් කාලයේ කිරිබත්‌ගොඩ පොලිස් වසමේ දළුගම සිපෙට්කෝ ඉන්දන පිරවුම්හල අසලදී කාර් රථයක් නවතා පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී එම කාර් රථය තුල ඉතා සූක්ෂම අයුරින් චොක්ලට් සහ රසකැවිලි බහාලන කාඩ්බෝඩ් ඇසුරුම් සහ දවටනවල සඟවා තිබූ කිලෝග්‍රෑම් 05 යි ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් නිලධාරීන් ඒ සමඟ කාර් රථයේ සිටි වයස අවුරුදු 59 ක් වන කුරුණෑගල ප්‍රදේශයේ සැකකරු අත්අඩංගුවට තිබේ.

සැකකරුගෙන් සිදුකල වැඩි දුර ප්‍රශ්න කිරීම් මගින් අනාවරණය වූ තොරතුරු මත එදින රාත්‍රී කටුනායක ගුවන් පාලම අසලදී මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ තවත් සැකකටයුතු කාර් රථයක් පරීක්ෂා කර එහි ගමන් කරමින් සිටි සැකකරුවෙකු හා සැකකාරියක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් විශේෂ කාර්යය බලකා බුද්ධි නිලධාරීන් එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඔවුන් නවාතැන් ගෙන සිටි කටුනායක ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 266 ක් සොයාගෙන තිබේ.
තවද සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය කිරාමැන බැලීම සඳහා භාවිතා කරන ලද විද්‍යුත් තරාදි දෙකක්, සැකකරුවන්ට අයත් ජංගම දුරකථන 05 ක් හා විදේශ ගමන් බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 41 ක් වන කටුනායක ප්‍රදේශ‌යේ පදිංචිකාරියකි.

සැකකරුවන් විසින් දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට සැක කරනු ලබන අතර වත්තල පොලිස් වසමේ වැලිඅමුණ මාර්ගයේ හා කඩවත පොලිස් වසමේ ගණේමුල්ල මාර්ගයේ පිහිටි සුඛෝපභෝගී නිවාස දෙකක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා යොදාගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත. එම නිවාස දෙක සම්බන්ධව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ අත්අඩංගුවට පත් සැකකරුවන් සහ සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.