ගල්කිස්ස වෙරළ ආසන්නයේ නව සංචාරක පොලිස් ස්ථානයක් විවෘතයි.

ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය අනුග්‍රහයෙන්, “ජපන් ගෙදර” ව්‍යාපෘති ආධාර මත ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ගල්කිස්ස වෙරළ පාරේ ඉදිකරන ලද නව සංචාරක පොලිස් ස්ථානය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.02.20 වන දින උදෑසන විවෘත කරන ලදි.

මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් බහුලව ගැවසෙන තවත් එක් ප්‍රදේශයක් වන ගල්කිස්ස වෙරලාසන්න ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් සංචාරක පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ එම ප්‍රදේශයේදී විදේශිකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ටද මුහුණපෑමට සිදුවන ගැටළුවලට අවශ්‍ය සහය, ආරක්ෂාව ලබාදීම සහ ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාගැනීම පහසුකරලීමයි.

මීට සමගාමීව පොලිසිය මැදිහත්වීමෙන් ආරක්ෂාකරනු ලැබූ කැස්බෑ බිත්තර මගින් ඉපදුනු කැස්බෑ පැටවුන් සියයකට අධික ප්‍රමාණයක් මුහුදට මුදා හැරීම පැමිණ සිටි ආරාධිත අමුත්තන්ගේ නිරීක්ෂණයෙන් සිදුකෙරුනු අතර පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක අංශ නිලධාරීන් විසින් දියේ ගිලීමකදී පුද්ගලයෙකු බේරා ගන්නා ආකාරය පිලිබඳව ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන නිලධාරී මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වැඩබලන සභාපති ශිරන්ත පීරිස් මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙරික් ඩීන් මහතා සහ අධ්‍යක්ෂ ජෙනරාල් සංචාරක සහ ඉඩම් අමාත්‍යංශයේ සුරංගා විතානගේ මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.