පොලිස්පතිතුමන් උසස් පෙළ විභාගයේ ප්‍රථමයින් වූ පොලිස් නිලධරයන්ගේ දියණියන් අගයයි.

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් එක් එක් විෂයන්ට අදාළව දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන නිලධරයින් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙකු, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024.02.19 වන දින පොලිස් මූලස්ථානයේදි මූල්‍ය ත්‍යාග පිරිනමා ඇගයීමට ලක් කරන ලදී.

මෙහිදී ඇගයීමට ලක්වූ එක් ශිෂ්‍යාවක් වන්නේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ රාජකාරි යෙදී සිටින පොලිස් සැරයන් 18354 පි.කේ රත්නපාල නිලධාරියාගේ දියණියයි. පී.කේ කාවින්දි දිල්සරණි තරුෂිකා වන ඇය කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරණායක බාලිකා විද්‍යාලයෙන් උසස්පෙළ වාණිජ විෂය ධාරාවට පෙනී සිට එම විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ අධ්‍යාපනය හදාරනු ලබයි.

අනෙක් ශිෂ්‍යාව කෑගල්ල කොට්ඨාශයට අනුයුක්තව දැදිගම පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂක මුදියන්සේ නිලධාරියාගේ දියණියයි. ඩබි.ඒ.එම් සචිනි සත්සරණි අධිපත්තු වන ඇය  කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයෙන් උසස්පෙළ කලා විෂය ධාරාවට පෙනී සිට එම විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝලීය තොරතුරු විද්‍යාව සම්බන්ධ උපාධි පාඨමාලාවක් හැදෑරීම සදහා වරම් ලබා ඇත.