කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ රථවාහන නිලධාරීන් සඳහා නව කාර්යාල කුටියක්

දිවයිනේ නන් දෙසින් කොළඹ ජාතික රෝහල වෙත දෛනිකව පැමිණෙන විශාල ජනකාය සහ සැලකිය යුතු සෞඛ්‍ය කාර්යය මණ්ඩල නිලධාරීන් ප්‍රමාණය ඒ අවට මාර්ග පද්ධතිය තම රථවාහන ගාල් කර තැබීමට මෙන්ම රෝහල වෙත ප්‍රවේශ වීම සදහා භාවිතා කරයි. එම නිසාවෙන් ඇති වන මාර්ග තදබදය යම් හදිසි, බැරෑරුම් අවස්ථාවක ගිලන්‍ රථ මගින් රෝගීන් යුහුසුලුව රෝහල තුලට හා රෝහලෙන් පිටත ගෙන යාම සඳහා බාධාවක්ව පැවතුනි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල සිදුකල ඉල්ලීමකට අනුව කොළඹ පොලිස් රථවාහන කොට්ඨාසය කොළඹ මහ නගර සභාව සහ වගකිව යුතු රාජ්‍ය අංශ සමග එක්ව කොළඹ ජාතික රෝහල අවට මාර්ග පද්ධතියේ පූර්ණ කාලීන විදිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී.

නව රථවාහන සැලැස්ම මගින් කොළඹ ජාතික රෝහල් චතුරස්‍රයේ රථ වාහන තදබඳය මේ වන විට සාර්ථකව මැඩපවත්වමින් ක්‍රියාත්මක වන අතර එ් සඳහා කැපවන පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පහසුව සඳහා අධ්‍යක්ෂ,කොළඹ ජාතික රෝහල විසින් හදිසි අනතුරු ඒකකය ඉදිරිපිට ඉදිකල කාර්යාල කාමරයක් අද දින (2024.02.15) රථ වාහන පොලිස් ඒකකය/රෝහල් චතුරස්‍රය නමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුනි.

තවද, නව රථවාහන සැලැස්මට අනුව රියදුරන් කටයුතු කල යුතු ආකාරය පිළිබඳව පොලිසිය විසින් දැනුවත් කෙරෙන, Nippon Lanka ආයතනයේ දායකත්වයෙන් සැකසූ දැන්වීම් පුවරු රැසක් රෝහල් පරිශ්‍ර මාර්ග පද්ධතියේ කඩිනමින් ස්ථාපිත කිරීමටද පොලිස්පතිතුමා විසින් එහිදී උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා, කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් බද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු රජයේ නිලධරයන් පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.