රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා පොලිසියට.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලැබූ “2023 ශ්‍රී ලංකා රාජ්‍ය සේවා එක් දින ක්‍රිකට් තරගාවලියේ” අවසන් මහා තරඟය ඊයේ (07) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ කණ්ඩායම් 10 ක් අතුරින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම හා පොලිස් විශේෂ කාර්ය බලකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා තේරි පත් වූ අතර, එහි දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ශූරතාව දිනා ගන්නා ලදී. තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස කඩුලු 29 ක් දවා ගත් පොලිස් සැරයන් 40246 මහේෂ් ප්‍රියදර්ශන නිලධාරියා සම්මාන දිනා ගන්නා ලදි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය මහජන ආරක්ෂක ගරු අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික අජන්ත මෙන්ඩිස් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස ද, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ එම්.කේ.සී. නාලක මහතා ද කටයුතු කරනු ලබන අතර, තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා එම මහත්වරුන් සිදු කළ සේවය අගයමින් වැඩබලන පොලිස්පති තුමන් විසින් සමරු තිළිණ ප්‍රදානයක් සිදුකරන ලදී.

පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද, ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ද, කළමනාකරු ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.සී. සමරකෝන් මහතා ද, පුහුණුකරු ලෙස පොලිස් සැරයන් 42296 වරුණ රාමනායක මහතා ද කටයුතු කරනු ලබයි.