76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල  ශ්‍රී ලංකා පොලිසියේ සම්මාන පෙළපාලිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.02.04 දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වීය. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු ස්‍රෙතා තැවිසින් මහතායි.

1948 වසරේ පළමු නිදහස් දින සැමරුම් උත්සවයේදී පටන් මේ දක්වා සිදුකළ සෑම නිදහස් දින උත්සවයකදී මෙන්ම මෙවර නිදහස් දින උත්සවයේ කටයුතුවල ආරක්ෂාව, සංවිධාන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඉමහත් කැපවීමෙන් යුතුව සහභාගී විය.

සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම ආරම්භ වූයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පැමිණීමත් සමගය. පොලිස්පතිතුමා සහ එම මැතිණිය පිළිගැනීම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ.පද්මිණී මහත්මිය විසින් සිදු කරන ලදී.

පොලිස් අශ්වාරෝහකයින් පෙරටු කරගනිමින් අභිමානවත්ව පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීමත් සමග නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු ආරම්භවිය.

ඉන් අනතුරු76 වන නිදහස් දින සැමරුම් උළෙලේ ත්‍රිවිධ හමුදාව,පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුලත් සම්මාන පෙළපාලිය ආරම්භ විය.

වසර 157 ක ප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන ආදර්ශ පාඨය හා ශක්තිය පිළිඹිඹු වන හස්තියාගේ රුව නිර්මිත පොලිස් ධජය රැගෙන යන ලද්දේ සහකාර පොලිස් අධිකාරි මුහන්දිරම්ගේ චන්ද්‍රසිරි මහතායි. ඒ සමඟ අසිපත් දෙකක් සහිත උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ගමන් කළහ. ඉන්පසු පොලිස් බල ඇණියේ ප්‍රධාන අණ දෙන්නා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පලිස්කාර මහතා නෙදර්ලන්ත චිපෙන්ඩිල් අසු පිටින් හා පරිවාර අශ්වයින් මත නැගී සහකාර පොලිස් අධිකාරී රුචිර කරුණානායකත්, සහකාර පොලිස් අධිකාරී අනුරංග වැල්ලගේ යන මහත්වරුන් සම්මාන පෙළපාලියේ තේජාන්විතව ගමන් කරන ලදී.

ඉන් අනතුරුව 1873 වර්ෂයේදි ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම තූර්ය වාදක කණ්ඩායම මෙන්ම ප්‍රථම නිදහස් සැමරුම් උත්සවයේ ජාතික ගීය අභිමාණයෙන් යුතුව වාදනය කළ පොලිස් තූර්‍යවාදක කණ්ඩායම වන පොලිස් තූර්‍යවාදක කණ්ඩායම පෙරටුව සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා අණ දෙනු ලැබූ ශ්‍රී ලංකා පොලිස් පිරිමි බලෑණිය සහ කාන්තා සහකාර පොලිස් අධිකාරි දීපානි මැණිකේ මහත්මිය විසින් අණදෙනු ලැබූ කාන්තා පොලිස් බළ ඇණිය ගරු ජනාධිපතිතුමන් වෙත තම උත්තමාචාරය දක්වමින් පෙළපාලියේ ගමන්කිරීම සිදුවිය.

පොලිස් සම්මාන පෙළපාලියේ අභිමානය තවදුරටත් ඉහල නංවමින් නිදහස් සැමරුම් උත්සවය සඳහා ඉන් අනතුරුව එක්වූයේ දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව ලෙස විරුදාවලිය ලත්, “නියතයි ජය” ආදර්ශ පාඨය වු පොලිස් විශේෂ කාර්ය බලකායයි. එම ඇණිය සඳහා ප්‍රධාන අණ දෙන්නා ලෙස කටයුතු කරනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතායි.
අනතුරුව සහකාර පොලිස් අධිකාරි D.W. චමින්ද ධර්මරත්න මහතා අණ දුන් පොලිස් අශ්වාරෝහකයින් නිදහස් සැමරුම් පෙළපාලියේ ගමන් ගත් අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට අශ්වාරෝහක කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුද ගමන් කිරීම කැපී පෙනුනි. ශ්‍රී ලංකා පොලිසිය අශ්වාරෝහක රාජකාරි ආරම්භ කරන ලද්දේ 1921 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතික පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙනි.

නිදහස් සැමරුම් පෙළපාලියේ සන්නද්ධ රථ පෙලපාලියට සහභාගී වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම සහිත සන්නද්ධ රථ හා යතුරු පැදි බලඝනය වෙත අණ දෙනු ලැබුවේ පොලිස් අධිකාරී කේෂර රත්නවීර මහතායි. සංග්‍රාමික කණ්ඩායම සඳහා අණදීම ප්‍ර.පො.ප උපුල් සදර්ලන්ඩ් නිලධාරියා විසින් සිදුකරන ලද අතර විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම සඳහා අණදීම උප පොලිස් පරීක්ෂක රසික කරුණාරත්න විසින් සිදුකරන ලදී.

සෑම වසරකම ජාතික නිදහස් උළෙලේදී සියළු දෙනාගේ අවධානය නොඅඩුව දිනාගන්නා පැරෂුට් සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමගින් මෙවර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකු සහභාගී වූ අතර එම නිලධාරීන් වන්නේ පොලිස් පරීක්ෂක යොහාන් පඩිවිට, පොලිස් සැරයන් පීරිස්, පොලිස් සැරයන් බුද්ධික යන නිලධාරීන්ය.
මෙවර නිදහස් දින පෙළපාලි පුහුණුව පොලිස් උසස් අධ්‍යාපන හා පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට මහතාගේ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ සිදුවූ අතර නිදහස් දින පොලිස් පොළපාලියේ ඉංග්‍රීසි විස්තර කථනය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී චානක අබේසිරිගුණවර්ධන මහතා විසින්ද, සිංහල විස්තර කථනය උ.පො.ප නිමල් අබේසිංහ මහතා විසින්ද සිදුකරන ලදී.

මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්,විදේශිය තානාපතිවරුන්, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගරු වියානි ගුණතිලක මහතා , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධරයන් රැසක්ද 76 වන ජාතික නිදහස් උත්සවය සඳහා සහභාගී විය.