2024 වසරේ පළමු ශ්‍රේණියට ඇතුලත්වන පොලිස් නිලධරයන්ගේ දරු දැරියන් වෙත තිළිණයක්

පාසල් අධ්‍යාපනය ආරම්භ කරමින් පළමු ශ්‍රේණියට ඇතුලත්වන සියළුම පොලිස් නිලධරයන්ගේ සහ පොලිසියේ සිවිල් කාර්යය මණ්ඩලයේ දරු දැරියන් සඳහා ශ්‍රී ලංකා පොලිස් සුභ සාදක අරමුදලින් සෑම වසරකම පාසල් උපකරණ ප්‍රදානයක් සිදුකරනු ලබයි.

ඒ අනුව 2024 වසරේදී පළමු ශ්‍රේණියට ඇතුලත්වන පොලිස් නිලධරයන්ගේ සහ පොලිසියේ සිවිල් කාර්යය මණ්ඩල නිලධරයන්ගේ දරුදැරියන්ට පාසල් බෑගයක් සහ සපත්තු යුගලක් මිලදී ගැනීම සඳහා මුදල් වවුචර් පතක් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය 2024.02.03 වන දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වූ අතර එහිදී ගල්කිස්ස හා නුගේගොඩ කොට්ඨාසවල පොලිස් නිලධරයන්ගේ සහ පොලිසියේ සිවිල් කාර්ය මණ්ඩලයේ නිලධරයන්ගේ දරු දැරියන් 84 දෙනෙකු සඳහා සංකේතාත්මකව අදාළ වවුචර්පත් ප්‍රදානය සිදුකෙරුණි.

පොලිස් නිලධරයන් 4547 දෙනෙකුගේ සහ පොලිසියේ සිවිල් කාර්යය මණ්ඩල නිලධරයන් 148 දෙනෙකුගේ දරුදැරියන් සඳහා මෙවර මෙම ප්‍රදානය පිරිනැමෙන අතර ඒ සඳහා පොලිස් සුභ සාදක අරමුදලින් රුපියල් ලක්ෂ 184ක් වෙන්කිරීමට කටයුතු කර ඇත. මෙම වැඩසටහන වාර්ෂිකව අඛන්ඩව ඉදිරියට පවත්වාගෙන යමින් ලබන වසරේ සිට පළමු වසරට ඇතුලත් වන පොලිස් නිලධරයන්ගේ දරු දැරියන් සඳහා අවශ්‍ය පොත්පත්ද ලබා දීමටද කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශකරන ලදී.

මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, පොලිස් සුභසාධන හා වෛද්‍ය සේවා දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිණී, පොලිස් සුභසාධන කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාර, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, නුගේගොඩ දිස්ත්‍රික් 01 භාර පොලිස් අධිකාරී එච්.ඩී.එච්. තුසිත කුමාර යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් ඇතුළුව මුදල් වවුචර් ලාභී පොලිස් නිලධාරයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී විය.