නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දුරුතු නද මහ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරයි.

නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය මඟින් සංවිධානය කරනු ලබන “දුරුතු නද” මංගල මහ පෙරහර 2024.01.27 වන දින රාත්‍රී 0700 සිට රාත්රී 0830 දක්වා පැවැත්විමට නියමිතය.

මෙම පෙරහර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධී විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී අත්තනගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

මෙම පෙරහර ආරම්භ කර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන අතර කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව පවතී.

රථවාහන ගමනා ගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියදුරන්ට සහ මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග :-

• කොළඹ සිට නුවර දෙසට ගමන් කරන රථ වාහන කළගෙඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරය දක්වා ගමන් කර දකුණට හැරී වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ නිට්ටඹුව මංසන්ධියට පැමිණ වමට හැරී නුවර දෙසට ගමන් කල හැක.

• මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයට ගමන් කරන රථ වාහන කළගෙඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරය දක්වා ගමන් කර දකුණට හැරී වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ මීටර් 100 ක් ඉදිරියට ගොස් වමට ඇති කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මීරිගම මාර්ගයට පිවිස වමට හැරී මීරිගම දෙසට ගමන් කල හැක.