කොළඹදී නීතී කැඩුවොත් දඩ පත්‍රිකාව නිවසටම

තම ගමන් පහසුව පිළිබඳව පමණක් සිතමින් නොසැලකිලිමත්ව මාර්ග නීති උල්ලංඝනය කර රථවාහන ධාවනයේ යෙදෙන සීමිත රියදුරන් පිරිසක් නිසාවෙන් දෛනිකව කොළඹ නගරය තුල රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවට පත්වේ, සැලකිය යුතු අනතුරු සංඛ්‍යාවක් කොළඹ මාර්ග පද්ධතිය තුලින් වාර්ථා වේ.

දිවා රෑ වෙහෙසෙමින් මෙම තත්වය මැඩපැවැත්වීම සඳහා කොළඹ නගරයේ මාර්ගයන්හි රථවාහන රාජකාරි සිදුකරන පොලිස් රථවාහන නිලධාරීන් කටයුතු කරන අතර එම නිලධාරීන් නොමැති ස්ථානයන්හි රථවාහන වැරදි සිදුකරනන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ නගරය තුල ස්ථාපිත නව සී.සී.ටි.වි කැමරා පද්ධතිය නියමානුකූලව භාවිතා කිරීමට ශ්‍රී ලංකා පොලිසය අද (2024.01.22) සිට සූදානම්.

ඒ අනුව අළුතින් ස්ථාපිත රථවාහන වැරදි පිළිබඳව දැනුමැති නිළධාරීන්ගෙන් සපිරි පරිගණක නිරීක්ෂණ මැදිරියක් මගින් කොළඹ නගරයේ මාර්ග අවේක්ෂණ කැමරා (CCTV) ඔස්සේ නිරීක්ෂණය කෙරෙන‍ෙ යම් රථවාහන වැරැද්දක්, එම අවස්ථාවේදීම පටිගත කරනු ලබන අතර, එම වීඩියෝ පටය වැරැද්ද සිදුකල රථයේ හිමිකරුගේ ස්ථිර ලිපිනයට අයත් පොලිසිය වෙත යොමුකරමින් රියදුරුට දඩ නියමකිරීම වැනි නියමිත නීතිමය කටයුතු සිදුකිරීමට හැකි වැඩපිළිවෙලක් සකසා ඇත.

මෙම වැඩපිළිවෙලෙහි සමාරම්භක අවස්ථාව අද දින (22) ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පොලිස් සි.සි.ටි.වි කොට්ඨාසයේදී පැවැත්වුනි. එහිදී එම මහත්වරුන් නිරීක්ෂණ මැදිරිය විවෘත කර පළමු රථවාහන වැරැද්ද නිරීක්ෂණය කිරීමටද එක්විය.

මෙම ක්‍රියාදාමය නියමු ව්‍යාපෘතියක් ලෙස සතියක කාලයක් වැරදි සිදුකරන රියදුරන්ට අවවාද කිරමින් පමණක් ක්‍රියාත්මක වන අතර 2024.02.01 වන දින සිට දඩ පත්‍රිකා නිකුත් කිරීම අරඹයි.

දඩ පත්‍රිකාව නිකුත් කෙරූ පොලිස් ස්ථානයේදී ඔබ සිදුකල රථවාහන වැරැද්ද නිරීක්ෂණය වන වීඩියෝව නැරඹීමේ හැකියාවද ඔබට හිමිවනු ඇත.

නීති ගරුක පුද්ගලයින් වෙමු. නීති ගරුක සමාජයක් උදෙසා පොලිසියට සහය වෙමු !