ගනුදෙණුකරුවන්ගේ දුරකථන දත්ත සොරාගත් Online ණය දෙන ආයතනයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ආකර්ශනීය දැන්වීම් පළකරමින් ණය මුදල් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින් හදුනාගෙන මාර්ගගත ක්‍රමයන් ඔස්සේ අධික පොලී අනුපාතයකට යටත්ව ණය මුදල් ලබාදුන් දෙහිවල ප්‍රදේශයේ ආයතනයක් සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

ඒ අනුව එම කොට්ඨාසය සිදුකල මූලික විමර්ශන මගින් අනාවරණය කරගනු ලැබූයේ, චීන ජාතිකයින් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයෙකුගේ නමින් සමාගමක් ලෙස 2021 වර්ෂයේ මෙරට තුල ලියාපදිංචි කළ මෙම ආයතනය, ණය මුදල් පියවාගැනීම සඳහා ගනුදෙණුකරුවන් හට අනීතිකව බලපෑම් සිදුකරන බවයි.

මේ සඳහා ලාංකික තරුණ පිරිස් ආයතනය වෙත බඳවාගෙන ඔවුන් මගින් ආයතනයෙන් ලබාගන්නා ණය මුදල් නැවත පියවීමට ලබාදෙන කාලය ඉක්මවමින් ණය මුදල් නොගෙවන ගනුදෙනුකරුවන් හට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීමට මෙන්ම යම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් ගනුදෙනුකරුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ දත්ත සොරාගැනීමටද කටයුතු කර ඇති අතර එසේ ලබාගත් පුද්ගලික තොරතුරු සමාජජාලා මාධ්‍ය ඔස්සේ සමාජගත කරමින් හා එසේ සිදුකරන බව පවසමින් ගණුදෙනු කරු දැඩි අපහසුතාවට පත්කිරීමට මෙම ආයතනය පියවර ගෙන ඇති බව අනාවරණය විය.

ඒ අනුව 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ අංක 03 වන වගන්තියේ සඳහන් වන දත්ත සඳහා අනවසර ප්‍රවිශ්ඨය, දත්ත අනවසරයෙන් ලබාගැනීම හා එම දත්ත සමඟ අනවසරයෙන් කටයුතු කිරීම යන වැරදි සම්බන්ධයෙන් මෙම ආයතනයේ කාර්යයමණ්ඩලයේ නියුතු චීන ජාතිකයන් 05 දෙනෙකු හා එම සමාගම ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනීමට 2024.01.14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කරන ලදී.