නත්තල් දා ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

2023.12.25 වන දින පාදුක්ක පොලිස් වසමේ තුන්නාන ප්‍රදේශයේ ඉඩමක් තුල ටී 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකල බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2024.01.10 වන දින එම අපරාධය සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් 31 හැවිරිදි වලව්වත්ත, රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දොම්පේ, ලියනගේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශගතව සිට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුයෙකුගේ මෙහෙයවීම මත ඉහත සැකකරු දොම්පේ පොලිස් වසමෙන් යතුරු පැදියක් රැගෙන ගොස් කඳාන ප්‍රදේශයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දී මෙන් පසුව එම යතුරුපැදිය ලබා ගත් එම පුද්ගලයින් දෙදෙනා මෙම ඝාතනයන් සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී පාදුක්ක,නවගමුව හා අවිස්සාවේල්ල පොලිස් වසම් තුල සිදු වූ වෑන් රථ, ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ද පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවෙකු ලෙස හදුනාගෙන ඇති අතර මෙම අපරාධ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි ලියනේගම, දොම්පේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම අපරාධයන්ට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.