මිය ගිය පොලිස් නිලධාරියකුගේ යැපෙන්නන් සඳහා නව නිවසක්

පොලිස් පවුල් සුභ සාධක සංගමය මගින් ඉදිකරන ලද නව නිවසක් හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගිය පොලිස් කොස්තාපල් 63769 එන්.බී සෝමරත්න නිලධාරියාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත භාරදීම ඊයේ (2024.01.26) දින ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ අශ්වයාබැදිවැව, ගලෙන්බිඳුනුවැව ලිපිනයේදී සිදු කරන ලදී. මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස් පවුල් සුභ සාධක සංගමයේ සභාපතිනිය වන අනුරාධා උමයංගනී මහත්මිය සහභාගි විය.

පොලිස් පවුල් සුභ සාධක සංගමය මගින් මෙම නිවසෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් සැපයූ අතර ගලෙන්බිඳුනු වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජේ. දිසානායක ඇතුළු පොලිස් නිලධාරීන්ද මේ සඳහා දායකත්වය දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා කැබතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, එම්.එස්.කේ වික්‍රමනායක, පොලිස් පවුල් සුභ සාධක සංගමයේ ලේකම් පී. විජේසුන්දර, සංගමයේ භාණ්ඩාගාරික, ජයන්ති ඒකනායක, පොලිස් පවුල් සුභ සාධක සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, එන්. චන්දන සිරිලාල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.