පොලිස් ශිෂ්‍යභට කාර්යාල සංකීර්ණය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාගේ සුරතින් විවෘත වේ.

කළුතර පොලිස් විද්‍යාලයේ සේවස්ථ ක්‍රියාන්විත පුහුණු ඒකකයේ පොලිස් ශිෂ්‍යභට කාර්යාල සංකීර්ණය විවෘත කිරීම උත්සවය ඊයේ (2024.01.20) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී. වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම, සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අසංග කරවිට, බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.එච්.පුෂ්පකුමාර, නියෝජ්‍ය පොලිස්පති ශිෂ්‍යභට එස්.එම්.වයි.සෙනවිරත්න, පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගි විය.

විවෘත කරන ලද මෙම කාර්යාල සංකීර්ණය මගින් පොලිස් ශිෂ්‍යභටයින්ගේ පරිපාලන හා පුහුණු කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකියාව සහ ශිෂ්‍යභට ඒකකය මඟින් දිවයිනේ පිහිටි පාසල් 550ක ශිෂ්‍යභටයින් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම පොලිසියේ ඉතිහාසය, සාමාන්‍ය නීතිය හා ළමා අපයෝජනය සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

එහිදී පොලිස් ශිෂ්‍යභට ඒකකයේ පුහුණු කිරීම් කටයුතු සිදු කල පොලිස් නිලධරයන්ට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම් පී. වියානි ගුණතිලක මහතා විසින් සහතිකපත් ප්‍රධානය කල අතර උත්සව අවස්ථාවට සහභාගිවූ පාසල් ළමුන් හට හේමාස් පුද්ගලික සමාගම විසින් පාසල් උපකරණ ලබා දෙන ලදී.