කොළඹ දකුණ පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක්

කොළඹ දකුණ පොලිිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්ගේ හමුවක් ඊයේ දින (19) ගරු මහජන අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමන්ගේ සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුනි.

මෙහිදී වැඩබලන පොලිස්පතිතුමන් පැමිණ සිටි පිරිස අමතමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක කල දැවැන්තම ක්‍රියාන්විතය වන යුක්තිය මෙහෙයුම අත්කරගෙන ඇති සාර්ථක ප්‍රතිඵල පිළිබඳව දැනුවත්කර, ඒ සඳහා ප්‍රජාපොලිස් කමිටු සාමාජිකයන්ගේ සහය තවදුරටත් සක්‍රියව ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශකළ වැඩබලන පොලිස්පතිතුමන් 2024.01.18 වන දින නාරම්මල පොලිස් වසමේදී පොලිස් උපපොලිස් පරීක්ෂවරයෙකුගේ රාජකාරි ගිණි අවිය ක්‍රියාත්මක වී සිදුවූ දිවි අහිමිවීම පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂනයක් සිදුකරන බව ප්‍රකාශකරන ලදී.

කමිටු සාමාජිකයින්ගේ ගැටළු හා අදහස් උදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසමින්, කොළඹ දකුණ පොලිස් කොට්ඨාසයේ අබාධිත පුදුගලයින් සඳහා රෝද පුටු බෙදාදීමක්ද සිදුකරමින් සාර්ථකව අවසන්කළ මෙම හමුව පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සහ පොලිස් බටහිර තූර්ය වාදන කොට්ඨාසයේ නිලධරයන්ගේ‍ නර්ථන හා ගායන වාදන ඉදිරිපත්කිරීම් මගින් වර්ණවත් කිරීමට කටයුතු සලසා තිබුණි.