අධිතාක්ෂණය භාවිතයෙන් සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රියව හදුනාගන්නා කැමරා පද්ධතියක් ගුවන්තොටුපළට

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකෙරෙන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ක්‍රියාන්විතය තවදුරටත් සාර්ථක කර ගැනීමේ අරමුණින් ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ හා වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාපිත කල ස්වයංක්‍රීයව මුහුණු හදුනාගත හැකි කැමරා පද්ධතිය 2024.01.06 වන ඊයේ දින සිට සක්‍රියව සේවය සඳහා යොදවන ලදී.

පොලිස් දත්ත පද්ධතියට ඇතුලත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සංවිධානාත්මක අපරාධකරුවන් හා ජාවාරම්කරුවන් විවිදාකාරයේ වෙස්ගනිමින් වුවද මෙරටින් පිටවීමේදී හෝ මෙරටට පැමිණීමේදී හදුනාගැනීමට මෙම අධිතාක්ෂණික කැමරා පද්ධතිය මගින් මින් ඉදිරියට හැකියාව ලැබෙන අතර ඒ අනුව මෙම කැමරා පද්ධතිය පාලනය කරන අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්ෂනිකව ක්‍රියාත්මක වනු ඇත.

ඊයේ දින මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ගුවන් තොටුපල හා ගුවන් සේවා සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය,  බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුලු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.