ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි ලබාගැනීම සඳහා විශේෂ ඒකකයක්, පැමිණිලි ලබා දෙන්න කෙටි දුරකථන අංකයක්.

ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත ඒකකයක් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි 04 වන ඊයේ දින කොළඹ 14, මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කෙරුණි.

එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නව ඒකකය Public Complain Desk නමින් හඳුන්වනු ලබන අතර cwb.online@police.gov.lk දරණ විද්‍යුත් ලිපිනය වෙත යොමුකරන E-mail පණිවිඩයක් මගින් සහ ක්ෂණික ඇමතුම් අංක 109 හා 011 – 2444444 වෙත ඇමතුමක් ලබා දීම මගින් මහජනතාවට මින් ඉදිරියට සෘජුවම මෙම විශේෂ ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.

ළමුන්ට හා කාන්තාවන්ට එරෙහිව සිදු කරන ලිංගික හිංසන ඇතුළු වෙනත් ඕනෑම ආකාරයේ හිංසනයන්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයන්, ළමුන් අනාරක්ෂිත වීම්, ළමා මෙහෙකාර සේවය හා කෲරත්වයට පත් කිරීම ආදී අපරාධ සම්බන්ධයෙන් ඔබට ඔබේ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි මෙම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම මෙම ඒකකය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.

සමාරම්භක අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පී.වී. ගුණතිලක, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි මහාචාර්ය වෛද්‍ය අනුරුද්ධිකා එදිරිසිංහ, ළමා හා කාන්තා කටයුතු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිල්මිණි හේරත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා, අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර්අ2, ළමා හා කාන්තා අපයෝජන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස්, යන මහත්ම මහත්මීන් ඇතුලු රජයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී විය.