පොලිස් රාජකාරියේදී මියගිය ක්‍රිෂ්ණමූර්ති නිලධාරියාගේ දෙමව්පියන් වෙත මුදල් ප්‍රදානයක්

ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු 2023.11.23 වන දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙනයන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවෙන් මිදී ජා ඇළ පොලිසිය අසලින් ගලායන ඇළට පැන පළා යාමට උත්සහ කළේය.
එම අවස්ථාවේ ඇළට බැස සැකකරු නැවත පොලිස් භාරයට ගැනීමට උත්සාහ කළ ජා ඇළ පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 99033 ක්‍රිෂ්ණමූර්ති නිලධාරියා එහිදී අවාසනාවන්ත ලෙස සැඩ පහරට හසුව දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

ඒ වන විට ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කල ක්‍රිෂ්ණමූර්ති නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ සේවය ස්ථිර කර පශ්චාත් උසස්වීම් පදනම මත පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පියවර ගත් අතර නිලධාරියාගේ සේවය තවදුරටත් අගයමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024.01.03 වන ඊයේ දින පොලිස් මූලස්ථානයේදී පොලිස් ත්‍යාග අරමුදලින් අනුමත කරන ලද රුපියල් ලක්ෂ 15 ක මුදල වියෝ වූ එම නිලධාරියාගේ දෙමාපියන් වෙත ප්‍රදානය කරන ලදී.

ක්‍රිෂ්ණමූර්ති නිලධාරියාගේ පියා වන පුෂ්පයියා ක්‍රිෂ්ණමූර්ති මහතා එහිදී අදහස් ප්‍රකාශ කරමින් වැඩබලන පොලිස්පතිතුමා වෙත ස්තූතිය පුදකර සිටි අතර ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියටත් තමන්ට උදව් උපකාර අවැසි අවස්ථාවන්හීදී පිහිට වනු ඇති බවට විශ්වාස බව ප්‍රකාශ කර සිටියේය.