පොලිස් පවුල් සුබසාධක සංගමයට හා පොලිස් සේවා වනිතා ඒකකයට නව සභාපතිනියක් පත්වේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන නීතිඥ අනුරාධා උමයංගනී විජයවර්ධන මැතිණිය පොලිස් පවුල් සුබසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස 2024.01.01 වන ඊයේ දින කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි පොලිස් පවුල් සුභ සාධක සංගමයේ කාර්යාලයේදී වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

සහකාර පොලිස් අධිකාරී නිලයෙන් පහල නිලයන්වල පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් පවත්වාගෙන යන මෙම සංගමයේ සභාපතිත්වය සංගමයේ ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයාගේ බිරිඳ වෙත හිමි වන අතර මේ වන විට පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් මසනු ලබන මැහුම් හලක්, පොලිස් නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යන මෙම සංගමය විසින් පොලිස් නිලධාරීන්ගෙ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර ලබා දීම , විශ්ව විද්‍යාල ආධාර ලබා දීම, මිය යන නිලධාරීන් වෙනුවෙන් මරණාධාර ලබා දීම, නිවුන් දරුවන් සඳහා කිරිපිටි ආධාර ලබා දීම, නිවාස ආධාර ලබා දීම ඇතුලු සේවාවන් රැසක් ඉටුකරගෙන යනු ලබයි.

උත්සව අවස්ථාව සඳහා හිටපු වැඩ බලන සභාපතිතුමිය ප්‍රශාන්ති ප්‍රනාන්දු, ලේකම් පී. විජේසූරිය, භාණ්ඩාගාරික හා අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජයන්ති ඒකනායක, පොලිස් සුභසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය,පොලිස්පති ලේකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියසේන, යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධරයන් රැසක් සහභාගී විය.