“යුක්තිය” මෙහෙයුමට සමගාමීව ඒකාබද්ධ පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් 2024.01.02 වන අද දින සවස 2.00 ට පොලිස් මුලස්ථානයේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් වර්ෂයකට පුනරුත්ථාපනය කලහැකි මත්ලෝලීන් සංඛ්‍යාව අල්ප බැවින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සිටින පුහුණු සාමාජිකයින් පොලිස්ථාන සමඟ සම්බන්ධ කර පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීමට සුදුසු ස්ථාන හදුනාගෙන එම ස්ථාන වල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද සැලැස්මකට අනුව පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

ඒ් අනුව මෙම වැඩපිළිවෙලෙහි සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීමෙන් පසු එළබෙන ජනවාරි අවසන් සතිය වන විට දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් පුනරුත්ථාපන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් සහ දැනටමත් මෙවැනි පුනරුත්ථාපන වැඩසටහන් වල නියැලෙන මිත්‍රා ශ්‍රි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.