එළඹෙන නත්තලට රටපුරා ඇති දේවස්ථානවල‍ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිකුත් කර ඇති චක්‍ර ලේඛන අනුව එලඹෙන උත්සව සමයේ පොලිස් වසම් 582 ක් තුල කතෝලික දේවස්ථාන 2862 ක් පිහිටා ඇති අතර මෙම දේවස්ථාන අතරින් දේව මෙහෙයන් පවත්වන දේවස්ථාන 2340 ක් හඳුනාගෙන ඇත.

සෑම දේවස්ථානයකට ම සිවිල් කමිටු 2082 ක් පත් කර එම සිවිල් කමිටු හරහා දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සෘජු අධීක්ෂ‍ණයෙන් එම දේවස්ථානවලට යොදවා ඇති ආරක්ෂාව ප්‍රමාණවත් ද එසේත් නොමැති නම් තව දුරටත් ආරක්ෂාව සැපයිය යුතුද යන්න සොයා බලා සංඛ්‍යාත්මක වාර්ථාවකින් දැනුම් දෙන ලෙසට වැඩ බලන පොලිස්පතිතුමා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 7500 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් ඇති වුවහොත් පොලිස් මූලස්ථානයේ 011-2472757 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කිරීමට පූජකතුමන්ලාට හැකියාව පවතින අතර මෙම මස 24 හා 25 යන දිනයන්වලට අමතරව දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පූජකතුමා විසින් අදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හෝ පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ආරක්ෂාව සම්බන්ධයෙන් සහය ලබාගැනීමේ හැකියාව පවති.