ගරු මහජන ආරක්ෂක ඇමතිතුමා සහ නුගේගොඩ කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් අතර හමුවක්

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (23) දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා ප්‍රධානත්වයෙන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මෙහිදී යුක්තිය මෙහෙයුමේදී කඩුවෙල පොලිස් ස්ථානය මඟින් සිදුකරන ලද වැටලීම් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද බස්රථ 6ක්, කාර්රථ 01, ත්‍රිරෝදරථ 02ක් සහ යතුරුපැදි 2ක් පරීක්ෂාවට ලක්විය.

පසුව වැඩබලන පොලිස්පතිතුමාගේ සංකල්පයකට අනුව පුනුරුත්තාපනලාභීන් සඳහා ඔවුන්ගේ ඉදිරි වෘත්තිය කරගෙන යාමට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීම සහ නිලධාරීන්ගේ සුභසාධනය සඳහා පොලිස් තෑගි අරමුදලින් ලක්ෂ 80ක් පමණ වටිනා භාණ්ඩ පිරිනැමීම ද සිදුවිය.

මෙම අවස්ථාවට ගරු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මැතිතුමා සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.