යතුරුපැදි සොරකම් දාමයක් විසදූ නිලධරයන්ට වැඩබලන පොලිස්පතිතුමන්ගේ ප්‍රශංසා.

කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් වසම් තුලින් මෑත කාලය තුල වාර්ථා වූ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාසයේ හා බම්බලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන කණ්ඩායම් දෙකක් එක්ව විශේෂ විමර්ශනයක් සිදුකළහ.

එහිදී අනාවරණය වූ තොරතුරු මත තලපත්පිටිය නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ නිලධාරීන් සොරකම් කරන ලද යතුරුපැදි 03 ක්, යතුරුපැදිවලින් ගලවා ඉවත් කරන ලද ලියාපදිංචි අංක තහඩු 08 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

රැදවුම් නියෝග ලබා සැකකරු රදවාගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී ගාල්ල, කලහේ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී තවත් යතුරුපැදියක් හා යතුරු පැදිවලින් ගලවා ඉවත් කරන ලද ලියාපදිංචි අංක තහඩු 06ක් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබුනු අතර, බස්නාහිර පළාතේ කොටුව, පිටකොටුව, වැලිකඩ හා මහරගම පොලිස් වසම් වලදී සොරකම් කරන ලද යතුරු පැදි 09ක් හා ගාල්ල පොලිස් වසමේ සොරකම් කරන ලද යතුරුපැදි 06 ක් පිළිබඳවද කරුණු අනාවරණය විය. ඒ අනුව සොයා ගන්නා ලද මුළු යතුරුපැදි සංඛ්‍යාව 19 ක් වන අතර එම යතුරුපැදිවල වටිනාකම රුපියල් 12,000,000/= ක් පමණ වන බවට විශ්වාස කෙරේ.

මෙවැනි සාර්ථක වැටලීම් අගයමින් සහ පොලිස් නිලධාරීන් තවදුරටත් දිරිමත්කරමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2023.12.22 වන දින උදෑසන බම්බලපිටිය පොලිස් ස්ථානයේදී පොලිස් භාරයේ ඇති අදාල යතුරුපැදි පරීක්ෂාවට ලක් කල අතර, මෙම අවස්ථාවට කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අභයගුණවර්ධන මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එක් විය.