නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගත් දේපල වැඩබලන පොලිස්පතිතුමන්ගේ පරීක්ෂාවට

“යුක්තිය” විශේෂ මෙහෙයුමට සමගාමීව 2023.12.20 වන දින සිදුකල මෙහෙයුම් මගින් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගන්නා ලද දේපල පරීක්ෂාව සඳහා 2023.12.21 වන දින උදෑසන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ 05, කිරුළපන ඇවනියු ප්‍රදේශයේ පිහිටි එම කොට්ඨාස පරිශ්‍රයට පැමිණියේය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන මුළු වටිනාකම රුපියල් ලක්ෂ 410 ක් පමණ වන සුඛෝපභෝගී බස් රථ 02 ක්, බස් රථයක්, කාර් රථ 02 ක් හා යතුරුපැදි 02 ක් එහිදී වැඩබලන පොලිස්පතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහ එම ප්‍රදේශයේම පිහිටි පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි 02 ක්, තෙමහල් කඩ කාමරයක් හා රත්රන් තොගයක් ද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය 2023.12.20 දින භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සියලු දේපල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.