රාජකාරිය අතරතුර දිවි අහිමි වූ STF සැරයන්වරයාගේ දේහයට ගෞරව

2023.10.11 වන දින ඉමදූව ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101.4 ආර් කණුව අසල පස් කන්දක් නායයෑමකට ලක්වුණි.

නාය ගිය පළමු අවස්ථාවේදී එම ස්ථානයෙන් ධාවනය වෙමින් පැවති රථවාහන අනතුරට ලක්වී ඇත්ද යන්න පරික්ෂා කර බැලීම සඳහා ආපදා ස්ථානය වෙත පැමිණී පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යුහුසුළුව ක්‍රියාකරන අතරතුර එම ස්ථානයේම සිදුවූ දෙවන නාය යෑමට හසුවූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී පොලිස් සැරයන් 38747 වඩුගේ දමිත් නිශාන්ත ප්‍රනාන්දු නිලධාරියා බරපතල තුවාල ලැබූ අතර, කරාපිටිය රෝහලට ඇතුලත්කරන ලද එම නිලධාරියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී 2023.12.18 වන දින ජීවිතක්ෂයට පත්විය.

පොලිස් සැරයන් 38747 වඩුගේ දමිත් නිශාන්ත ප්‍රනාන්දු නිලධාරියා වලව්වත්ත පාර, කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටිමින් පොලිස් විශේෂ කාර්ය බලකා දක්ෂිණ අධිවේගී මර්ගයේ පින්නදූව උප ඒකකයට අනුයුක්තව රාජකාරි සිදුකල වයස අවුරුදු 42 ක් වන නිලධාරියෙකි.

එසේ තම රාජකාරියේදී දිවි පිදූ මෙම නිලධාරියාගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2023.12.19 වන දින නිලධාරියාගේ නිවසට, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් විශේෂ කර්යයබලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සමඟ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක්විය.