පොලිස් අත්අඩංගුවට පත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක ප්‍රමාණයක් විනාශ කෙරේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව 2019.03.04 වන දින සිදුකල වැටලීමක් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 107 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 09 දෙනෙකු, කොළඹ මහාධිකරණය මගින් 2023.12.15 වන දින වරදකරුවන් ලෙස නම් කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත් කරන ලදී.

ඒ අනුව පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අත්අඩංගුවට පත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පුත්තලම ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක් තුල පුත්තලම මහේස්ත්‍රාත්තුමා, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් හා ගරු මහාධිකරණ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ අධික තාපය මගින් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහා අධිකරණය මගින් නියෝග ලබන ලදී.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම් අනුව විශේෂ ආරක්ෂාවක් යටතේ 2023.12.14 වන දින සිදුකෙරුණු එම කාර්යය අතරතුර අදහස් පලකල වැඩබලන පොලිස්පතිතුමන්, විමර්ශන කටයුතු අවසන් කල හා නොකල මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බලපැවැත්වෙන නීති ප්‍රකාරව ඉදිරි කාලයේදී කඩිනමින් විනාශ කිරීම සඳහා ගරු අධිකරණයෙන් නියෝග ලබා ගන්නා බව සඳහන් කළේය.