ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස රාජකාරි භාර ගනී.

ගරු ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමන් විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව 2023.11.29 වන දින සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කළ අතර එ් මහතා 2023.11.30 වන අද දින උදෑසන සුබ මොහොතින් සර්ව ආගමික වතාවත් මධ්‍යයේ පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

1971 වර්ෂයේ උපත ලද දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1998.02.23 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත. අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වී 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට වසර 04 කට ආසන්න කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

වසර 26 ක සේවා කාලය තුල දකුණු පළාතේ ගාල්ල, මාතර උතුරු පළාතේ වව්නියාව, නැගෙනහිර පළාතේ කන්තලේ, බස්නාහිර පළාතේ ගම්පහ, නුගේගොඩ සහ කැළණිය යන ප්‍රදේශයන්හි රාජකාරි කරමින් ක්‍ෂේත්‍ර රාජකාරින් පිළිබද මනා අවබෝධයක් මෙන්ම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් රාජකාරිමය වශයෙන් මනා අත්දැකීම් ලබා ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සහ කැළණි විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය හදාරා ඇති අතර, 2006 වර්ෂයේදි එක්සත් ජනපදයේ ලුසියානා පොලිස් ඇකඩමිය මඟින් පවත්වන ලද පශ්චාත් පිපිරුම් විමර්ශන පුහුණු පාඨමාලාව, 2008 වර්ෂයේදි දකුණු කොරියානු පොලිස් පරිපාලන පුහුණු පාඨමාලාව, 2016 වර්ෂයේදී චීනයේ යුනාන් පොලිස් ඇකඩමියේදි පවත්වන ලද ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ පුහුණු පාඨමාලාව, 2019 වර්ෂයේදි නැගෙනහිර ටිමෝරයේදි පවත්වන ලද ප්‍රජා පොලිස්කරණය පිළිබදව පුහුණු පාඨමාලාව ආදී තවත් පාඨමාලා රැසක් හදාරා ඇත.

තවද, වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2011 වර්ෂයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදි පැවති විශේෂ සේවා සහ නීතිය ක්‍රියාත්මක කරන සංවිධානවල ප්‍රධානීන්ගේ සමුළුව, 2019 වර්ෂයේදීම තායිලන්තයේ බැංකොක් හිදි පවත්වන ලද මත්ද්‍රව්‍ය පිටු දැකීම සදහා වන ආසියා සහ පැසිෆික් කලාපයේ ප්‍රධානීන්ගේ සමුළුව ආදී සමුළු සදහා ද, 2013 වර්ෂයේදි ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවත්වු මිනිස් ජාවාරම් විරෝධී ඒකකවල අත්දැකීම් හුවමාරු කරගැනීම සදහා වන SAARC රාජ්‍ය සාමාජික රටවල් සදහා වු වැඩමුළුව ඇතුලු තවත් දෙස් විදෙස් වැඩමුළු රැසකට සහභාගී වී තිබේ..