සැකපිට පරීක්ෂා කල පුද්ගලයෙකු සතුව ව්‍යාජ මුදල් නෝට්ටු 63ක්

බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රුපියල් 5,000/- ව්‍යාජ මුදල් නෝට්ටු 63 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු බියගම,වඩුවේගම ප්‍රදේශයේදී 2023.11.21 දින අත්අඩංගුවට ගෙන ඇත.

එදින සවස එම ප්‍රදේශයේ අපරාධ නිවාරණ රාජකාරි සඳහා සංචාරය කරමින් සිටි බියගම පොලිස් නිලධාරීන් සැකපිට මෙම පුද්ගලයා පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම ව්‍යාජ මුදල් ප්‍රමාණය ඔහුගේ මුදල් පසුම්බියෙහි තිබී හමුවී තිබේ.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී, මෙම මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කර වෙළෙඳසැල් දෙකක් වෙත ලබා දී වලංගු මුදල් ලබාගන්නා බවට ප්‍රකාශ කර ඇත.

එම වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් ද සොයා ගෙන ඇති අතර සැකකරු සතුව හා වෙළදසැල් සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු ඇතළු සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් භාවිතා කර උපයා ගන්නා ලද බවට සැකකෙරෙන වලංගු මුදල් රුපියල් 7,700/- ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ව්‍යාජ මුදල් සකස්කරන ස්ථානයන්, උපකරණ හා ඊට සහය දෙන්නන් සොයා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.