කුසගිනි නිවීමට ගස්ලබු කැඩූ පුවත සාවද්‍ය යි.

අන්සතු වගාවකින් Red Lady වර්ගයේ ගස්ලබු ගෙඩි 03 ක් කඩාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හක්මන පොලිස් ස්ථානය විසින් පසුගියදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිලිකරු විසින් මෙම සැකකරු දිගින් දිගටම ඉඩම් තුළ ඇති භෝග සොරකම් කරන බවත්, එසේ නොකරන ලෙසට අවස්ථා ගණනාවකදීම දැනුම් දුන්නද ඒ පිළිබඳව තැකීමක් නොකර දිගින් දිගටම මෙම ආකාරයට සොරකම් සිදු කරන බවට පොලිසිය හමුවේ සිදුකළ ප්‍රකාශ අනුව අත්අඩංගුවට ගත් මෙම සොරකමට අදාළ සැකකරු, කිසිදු ආර්ථික අපහසුතාවයක් නොමැති බවට නිරීක්ෂණය වන, හමුදා සේවයේ ලුතිනන්වරයෙකු ලෙස සේවය කර 2015.05.24 වන දින විශ්‍රාම ලබා මේ වන විට රුපියල් හතලිස්පන්දාහකට වැඩි විශ්‍රාම වැටුපක් ලබන, රැකියාවක නියැලෙන බිරිදක් හා විවාහක දියණියක් සිටින පුද්ගලයෙකු බව ද පොලිස් පරීක්ෂණ හමුවේ අනාවරණය වී තිබේ.

මෙම සැකකරු 2017.02.17 වන දින සිට 2023.08.31 වන දින දක්වා වූ කාල සීමාව තුල නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවස්ථා 11 ක දී සහ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කිරීම, දේපල සොරකම් කිරීම්, පහරදීම්, බීමත්ව රිය පැදවීම යන වැරදි සම්බන්ධව ද, වරෙන්තු සඳහා අවස්ථා 3ක දී ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ගරු අධිකරණයේ නඩු කටයුතු පවතින පුද්ගලයෙකි.