පොලිස් නිල සුනඛ කොට්ඨාසය 75 වන සංවත්සර සැමරුම අභිමානවත්ව සමරයි.

පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතා යටතේ 1948 දෙසැම්බර් 01 වන දින කොළඹ ඇව්ලන් චතුරශ්‍රයේදී ආරම්භ කල ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ 75 වන අභිමානවත් සංවත්සර සැමරුම 2023.11.04 වන දින අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් හා ප්‍රධානත්වයෙන් වර්තමාන පොලිස් නිල සුනඛ කොට්ඨාස මූලස්ථානයට යාබද පිහිටි මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත්ව පැවැත්වීය.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ගාම්භීරත්වය විදහා පාමින් උත්සවය ආරම්භ වූයේ එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කංචන ගොඩකුඹුර මහතා ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවූ ඇණි 05කින් සමන්විත සම්මාන පෙළපාලියක් පැවැත්වීමෙනි. එය වඩාත් ආකර්ශනීය වන්නට හේතු වූ කරුණ නම් අණ වචනයට කීකරු වෙමින් පොලිස් නිල සුනඛයින් 64ක් ද පෙළපාලිය නියෝජනය කිරීමයි.

උත්සව සභාව ආරම්භ කරමින් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අම්පාවිල මහතා පැමිණසිටි පිරිස ගෞරවපූර්වකව පිළිගෙන නිල සුනඛ කොට්ඨාසයේ නිලධාරීන් පොලිස් රාජකාරියන්හී දී සිදුකල විශේෂ දස්කම් හා කැපවීම් උදෙසා පිරිනැමෙන ත්‍යාග ප්‍රධානය සිදුකිරීම සඳහා අවස්ථාව සලසාදුනි.
එහිදී ප්‍රධාන අමුත්තන්ගේ සුරතින් සාර්ථක අපරාධ පරීක්ෂණ රාජකාරියක් ඉටුකල නිලධාරියාට හිමි ත්‍යාගය පොලිස් කොස්තාපල් 83‍912 අජිත් දුමින්ද, සාර්ථක මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරි වෙනුවෙන් පොලිස් සැරයන් 74505 එච්.එම්.කේ.එස් බණ්ඩාර, සාර්ථකම පුපුරණ ද්‍රව්‍ය රාජකාරි වෙනුවෙන් පො.සැ 44311 ඒ.එම්.ඊ අතපත්තු, දක්ෂතම නිල සුනඛ හසුරවන්නා වෙනුවෙන් පො.සැ 60379 ඒ.ඊ මුණසිංහ, දක්ෂතම නිල සුනඛයා වෙනුවෙන් පො.සැ 71136 එම්.එම්.ආර්.බි මොරේමඩ් යන නිලධරයන් ඇතුලු තවත් නිලධරයන් විවිධ දක්ෂතා සඳහා පොලිස්පති ත්‍යාග ලබාගන්නා ලදී.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සැමරුම් උත්සවයේ ප්‍රධාන කතාව සිදුකරමින් පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ කාර්යභාරය ප්‍රශංසනීයව ඇගයූ අතර කොට්ඨාසයේ උන්නතිය උදෙසා අවශ්‍ය කටයුතු සිදුකිරීමට පොලිස්පතිතුමාගේ දැක්ම උත්සව සභාවට පැහැදිලි කළේය.

පොලිස් නිල සුනඛයින්ගේ ශත්කිමත්, බුද්ධිමත්, කීකරු,විනයගරුක බව මනාව ප්‍රදර්ශනය කරමින් සැමරුම් උත්සවයට සපැමිණි පිරිස උද්යෝගයෙන් බලා සිටි නිල සුනඛ සන්දර්ශනය ආරම්භව, සාර්ථකව අවසන්වීම සියළු දෙනාගේ පැසසුමට ලක්විය.

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ හා පොලිස් තූර්යය වාදන කොට්ඨාසයේ නර්ථන හා වාදන දස්කම් ප්‍රදර්ශනයන්ගෙන් තව තවත් වර්ණවත් වී නිමා වූ මෙම සැමරුම් උත්සවය සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යය පශුවෛද්‍ය අශෝක දංගොල්ල, මහනුවර, මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වය හිමි වී තිබුනි.

– පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් Sri Lanka Police නිල යූ ටියුබ් චැනලය වන Police Media චැනලය ඔස්සේ සජීවීව විකාශය කල මෙම උත්සවය පහත සබැඳිය මගින් නැරඹිය හැක –