මනුෂ්‍ය ඝාතනයකට රැස්වෙමින් සිටි කණ්ඩායමක් අත්අඩංගුවට.

ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 2023.10.22 දින මිනුවන්ගොඩ පොලිස් වසමේ හොරම්පැල්ල ප්‍රදේශයේ නිවසක් වටලා ඇත.

එම මොහොතේ අදාල සැකකරු නිවසේ පදිංචිව නොසිටි බැවින් නිලධාරීන් සැකකරු පැමිණෙන තෙක් නිවස අසල මාර්ගයේ රැකවල් ලා සිට ඇති අතර මාර්ගයේ පැමිණි සැකසහිත කාර් රථයක් හා යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.
එහිදී විමර්ශන නිලධාරීන් හට කාර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 500ක්, ජීව අත්බෝම්බ දෙකක්, තියුණු ආයුධ (කඩු) දෙකක් හමුවී ඇති බැවින් කාර් රථයේ සිටි රියදුරු ඇතුළු යතුරුපැදි දෙකෙහි පැමිණි පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද මූලික විමර්ශන වලදී ඩුබායි රාජ්‍යයේ රැදී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මොවුන් මෙම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා තවත් පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීමට පැමිණි අතරතුර මෙසේ අත්අඩංගුවට පත් ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් වයස අවුරුදු 22,23,25,39 හා 56 වයස්වල පසුවන කටුවැල්ලේගම, මිනුවන්ගොඩ, කිඹුලාපිටිය හා හොරම්පැල්ල ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.