විශ්‍රාමික පොලිස්පති වයි.පී වික්ටර් පෙරේරා මහතා දැයෙන් සමුගනී.

අභාවප්‍රාප්ත වූ විශ්‍රාමික පොලිස්පති වයි.පී වික්ටර් පෙරේරා මහතාගේ අවසන් කටයුතු 2023.10.18 වන දින පැය 1630 ට බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම අදාහනාගාරයේ දී සිදුකෙරිණි.

පානදුර දකුණ පොලිස් වසමේ අංක 14, බණ්ඩාරනායක මාවත, වෑකඩ, පානදුර ලිපිනයේ පදිංචිව සිටි එම මහතා 75 වන වියෙහි පසු වෙමින් සිටි අතර ඇති වූ අසනීප තත්වයන් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී 2023.10.16 වන දින අභාවප්‍රාප්ත විය.

1948.07.01 වන දින උපත ලබා 1974.11.04 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳී කළුතර පොලිස් අභ්‍යස විද්‍යාලයෙන් මූලික පුහුණුව හැදෑරීමෙන් පසු කෑගල්ල, වව්නියාව, රත්නපුර හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කරන ලද අතර 1983.11.04 වන දින පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස්වීම් ලබා පොලොන්නරුව, මඩකලපුව හා තංගල්ල ආදී කොට්ඨාස කිහිපයක දිස්ත්‍රික්ක හා කොට්ඨාස භාර නිලධාරි වශයෙන්ද, 1989.01.01 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස්වීම් ලබා කළුතර, කොළඹ උතුර හා ගල්කිස්ස ඇතුළු කොට්ඨාසවල කොට්ඨාස භාර නිලධාරි ලෙස රාජකාරී ඉටුකර ඇත.

1994.03.03 වන දින නියෝජ්‍ය පොලිස්පති වරයෙකු ලෙස උසස්වීම් ලබා පොලිස් මූලස්ථානය, අනුරාධපුර, ජනාධිපති ආරක්ෂක, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රවර්ථන ආදී දිසාවන් භාරවද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලබා 2005.04.21 වන දින පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමණාකරන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර ඇති එතුමන් 2006.10.12 වන දින ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පතිවරයා ලෙස පත්වී 2008.07.01 වන දින දක්වා වූ කාලසීමාව තුල පොලිස්පති ධූරය හොබවා සේවයෙන් ගෞරවාන්විතව විශ්‍රාම ගන්නා ලදී.