2023 සමස්ථ ලංකා පොලිස්පති කුසලාන ජාතික හිෂ්‍යභට කඳවුර සාඩම්බරව විසරයයි.

2023.10.10 වන දින  කළුතර පොලිස් විද්‍යාලයට ඇතුලත්ව පොලිස් විෂයන් වන වෙඩි තැබීම්, ඝන සරඹ, ශාරීරික අභ්‍යාස, අධ්‍යක්ෂ පරීක්ෂණ, භට නිවාස පරීක්ෂණ සඳහා පෙනී සිටි 2023 සමස්ථ ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුරට සහභාගී වීමට වරම් ලැබූ පාසල් 49 ක ශිෂ්‍ය භට බාලක බාලිකාවියන්ගේ විසිර යාමේ උත්සවය, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියාණි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.16 වන දින කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

නෙදර්ලන්ත ගැලීෂියන් අසුපිට නැගි ප්‍රධාන අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ලසිත අබේවික්‍රම මහතාගේ හා දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිලන්ත ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සියලු දෙනාගේ නෙත් සිත් ඇඳ බැඳ ගත් ගත් ඝණ සරඹ පෙළපාලියකින් ප්‍රධාන ආරාධිත අමුත්තන් හට උත්තමාචාර දැක්වූ ශිෂ්‍ය භට/භටවියන් එහිදී තම ඇණි වශයෙන් හා පුද්ගලිකව දැක්වූ දක්ෂතා  සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සුරතින් ලබාගන්නා ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස  සැපැමිණි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියාණි ගුණතිලක මහතා හා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාස අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතා උළෙල අමතමින් විවිධ දුරාචාරයන්ට හුරු වන තරුණ පරපුර විනය ගරුක, නීති ගරුක, සෞඛ්‍ය සම්පන්න කිරීම උදෙසා ඉවහල් වන පොලිස් ශිෂ්‍ය භට කඳවුර වෙත යොමු කළ ගුරු, දෙගුරුන් වෙත හා කැපවීමෙන් පුහුණු වීම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ස්තූතිය පුද කලහ.

විසිරයාමේ උළෙල නිමා කරමින් පැවැත්වූ පොලිස් විශේෂ කාර්යය බලකා යතුරුපැදි බලඝනයේ සන්දර්ශනයකින්, සංස්කෘතික කොට්ඨාසයේ නර්ථනාංගයකින් හා ශිෂ්‍යභට තූර්ය වාදන වෘන්දයන්ගෙන‍් තවත් වර්ණවත් වූ මෙම උත්සවය සඳහා සබරගමුව හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ, පොලිස් මාධ්‍ය කොට්ඨාස අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ආගමික නායකයින්,විදුහල්පතිවරුන් වැනි රජයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වය හිමිවිය.