රාජකාරියේ යෙදී සිටිය දී මාරක රිය අනතුරකට ලක් ව ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියාට අවසන් ගෞරව.

මහජන ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ නොනිමි මෙහෙයුමෙහි නියැලෙමින් සිටින අතරතුර අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ, දහසකුත් පොලිස් නිලධරයන් අතරට ආධුනික පොලිස් කොස්තාපල් 19498 අංගම්පොඩිගේ මනෝජ් ප්‍රියංකර යන නිලධාරියා පසුගිය 2023.10.06 වන දා එක් විය.

වලස්මුල්ල මහා විද්‍යාලයේ ආදි සිසුවෙක් ව සිට 2021-03-15 දින අරලගංවිල පොලිස් පුහුණු විද්‍යාලයට එක්ව මූලික පුහුණුව ලබා පොලිස් නිත්‍ය සේවයට එක් වෙමින් සති රථ වාහන පුහුණු පාඨමාලාව සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මගින් පවත්වන අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව හදාරා ඇති මෙම නිලධාරියා කොළඹ රථවාහන කොට්ඨාශය යටතේ 2021.08.20 වන දින සිට කුරුදුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිට ඇති අතර 2023.10.05 වන දින සවස කුරුදුවත්ත නිදහස් වටරවුම අසල රාජකාරි කරමින් සිටියදී පාලනයකින් තොරව තමා දෙසට පැමිණි මෝටර් රථයක ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල ද පසුදා අළුයම 0120 ට පමණ ජීවිතක්ෂයට පත්විය.

සේවයේ සක්‍රියව රාජකාරියෙහි යෙදෙමින් සිටියදී දිවි අහිමි වූවාට උපහාර වශයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් එදිනම ඔහුව පශ්චාත් උසස් කිරීමේ පදනම මත ආධුනික පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුරට සේවය ස්ථිර කර පොලිස් සැරයන් තනතුරට ද උසස් කර, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව එම නිලධාරියාගේ වැටුප, වැටුප් වර්ධක සහිතව නිලධාරියාගේ වයස අවුරුදු 55 වන කාලය තෙක් නිලධාරියගේ පවුලේ උදවිය වෙත ලබා දීමේ ක්‍රමවේදය සකසන ලද අතර නිලධාරියා‌ගේ දෙමව්පියන් පොලිස් මූලස්ථානයට කැඳවා මධ්‍යම සුභසාධක සහ යහසාධක යෝජනා ක්‍රම මගින් පිරිනමන ලද රුපියල් 103,808 ක මුදල සහ කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය මගින් පිරිනමන ලද රුපියල් 125,000 ක මුදල ප්‍රදානය කිරීමට කටයුතු සිදුකරන ලදී.

රථවාහන නිලධාරීන්ගේ සේවය ලබන සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ හද කම්පාකරවමින් 2023.09.09 වන ඊයේ දින 97/3, කෑරදෙනිය, කිරම, වලස්මුල්ල ලිපිනයේදී පොලිස් උත්තමාචාර සහිතව සිදුකෙරුනු නිලධාරියාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ප්‍රියන්ත ලියනගේ, නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත් රථවාහන) ඉන්දික හපුගොඩ, , කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක, කුරුදුවත්ත රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරාජ් අබේසේකර යන මහත්වරුන් එක් වූ අතර නිලධාරියාගේ ජීවිතය හා සේවය අගය කරමින් තවත් විශාල පිරිසක් අවමංගල උත්සවයට සහභාගී වී තිබුණු අයුරු දක්නට ලැබුනි