ඝාතන සඳහා යොදාගත් පිස්තෝල අවි දෙකක් සොයාගැනේ.

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින සැකකරුවෙකු වන සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය ලබාදුන් ප්‍රකාශ මත විදේශ රටක නිෂ්පාදිත යැයි සැලකෙන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සමග ඊට යොදන මැගසින් 02 ක්, මැගසිනයක් සවි කරන ලද පිස්තෝල අවියක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (04) දින රාත්‍රී සොයාගෙන ඇත.

මෙම අවි මුල්ලේරියාව පොලිස් වසමේ කුමාර මාවත ප්‍රදේශයේ ලදු කැලෑවක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර පෑලියගොඩ පොලිස් වසමේ දුම්රියපොල පාර ප්‍රදේශයේදී 2022.06.26 වන දින සිදුකල මනුෂ්‍ය ඝාතනයට සහ පෑලියගොඩ කළු පාලම අසලදී 2023.01.17 වන දින සිදුකල මනුෂ්‍ය ඝාතනයට මෙම අවි යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.