කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය – 75 වන සංවත්සරය

විවිධ පරිසර වටපිටාවන් තුළ හා අනේක විද සමාජ තලයන්හි හැදී වැඩුනු තරුණ තරුණියන් තුළ, “තම මව්බිමේ නීතිය හා සාමය දිවිහිමියෙන් ආරක්ෂා කල යුතුයි” යන අරමුණ ජනිත කරමින් හා ඒ සදහා අවශ්‍ය දැනුම, හැකියාව, කණ්ඩායම් හැගීමෙන් ඔවුන් පෝෂණය කරමින් අභිමානවත් පොලිස් නිලධරයෙකු ලෙස සමාජගත කෙරෙන පොලිස් අභ්‍යාස විද්‍යාලය බිහිවී 2023.09.23 වන අද දිනට වසර 75 ක් සපිරේ.‍

ශ්‍රි ලංකා පොලිසියේ විධිමත් ආරම්භය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ 1866 සැප්තැම්බර් මස 08 වන දා සිදුව ඇත. මුල් අවධියේ මරදාන පොලිස් ස්ථානය පොලිස් නිළධරයන් යම් දැනුමකින් යුතුව සමාජ ගත කිරීම ආරම්භ කර ඇති අතර විධිමත් ලෙස පුහුණු කටයුතු ආරම්භ වන්නේ 1905 වසරේ කොළඹ කුමාර වීදියේ ඕලන්ද ගොඩනැගිල්ලක් තුළය.
පොලිස් නිලධරයන්ගේ අවශ්‍යතාව හා පොලිස් නිළධරයෙකු උකහාගත යුතු දැනුම පරාසය දිනෙන් දින වැඩිවත්ම 1925 මාර්තු මස 26 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිලි කීපයක් වෙත පොලිස් විද්‍යාලය ගෙන ඒමට කටයුතු කළමුත් නිදහසින් පසු ප්‍රථම ශ්‍රි ලාංකික පොලිස්පතිවරයා වූ ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මැතිතුමන් මැදිහත්වී පොලිස් අභ්‍යාස විද්‍යාලය වර්ෂ 1948 සැප්තැම්බර් මස 29 වන දින කළුතර කොළණිහන්දිය ප්‍රදේශයට රැගෙන එන්නට කටයුතු කර ඇත.

එතැන් පටන් වර්තමානය දක්වා විරාජමානව බැබළී, රට පුරා තවත් පොලිස් විද්‍යාල ඒකක 08 ක්ද බිහි කිරීමට පසුබිම සැකසූ කළුතර පොලිස් විද්‍යාලයේ 75 වන සංවත්සරය පොලිස් විද්‍යාල තුලින් ආභාෂය ලැබූ ගුණ නැණ බලයෙන් සපිරි සියලු පොලිස් නිලධරයන් ඉමහත් භක්ති ආදරයෙන් සමරනු ලබයි.