ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 157 යි

1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිතව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ 157 වන සංවත්සරය 2023.09.03 වන අද දිනට යෙදී තිබේ. දිවා රෑ නොනිමි රාජකාරි මධ්‍යයේ වුවද පොලිස් මූලස්ථානයේ හා දිවයින පුරා පිහිටි පොලිස් කෝට්ඨාස මට්ටමින් සැමරුම් අවස්ථා හා ආගමික වත් පිළිවෙත් සංවිධානය කරමින් තම සේවයේ අභිමානවත් දිනය සමරනු ලැබීමට පොලිස් නිලධරයන් කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ සේවාවන් සපයන රාජ්‍ය ආයතන අතර වසර 157 ක ඉතිහාසයයේ රට හා පොදු මහජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකල ආයතන වලින් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් බව අප සඳහන් කරන්නේ හදපිරි සතුටිනි. රටේ ආරක්ෂාව හා සමාජ සුභසාධනය සැලසීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව තම වගකීම පොලීසිය විසින් ඉටුකර ඇත.

ලංකා පොලීසියේ ප්‍රථම පොලිස්පති ධූරයට පත්වු ශ්‍රීමත් ජී.ඩබ්ලිව්.ආර්.කැම්බල් මහතාගේ සිට මේ වනවිට පොලිස්පතිවරු 35 දෙනෙකු නායකත්වය සපයා ඇත. 35 වන පොලිස්පතිවරයා වන්නේ වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාය.

අප රටේ පොලීසිය විකාශනය වු ආකාරය සම්බන්ධව ගවේෂණාත්මකව බැලීමේදී, ආරම්භක අවධියේදී අඩු ජනගහනයක් සිටින අපරාධ ප්‍රචණ්ඩ නොවු අවධියක විදේශිකයින්ගේ අවශ්‍යතාවය හා වතුවගාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පිහිට වු ආයතනයක් බව ඉතිහාසගත වී ඇත.
ක්‍රමිකව රටේ හා ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනා ගනිමින් වෙනස් වු ශ්‍රී ලංකා පොලීසියට 1947 ප්‍රථම ලාංකීය පොලිස්පති රිචඩ් අලුවිහාරේ මහතාගේ පත්වීමත් සමග බ්‍රිතාන්‍ය ආභාෂයේ තිබු ලංකා පොලීසිය ස්වදේශිකරණයේ ආරම්භය සිදු විය.

ලෝකයේ සංවර්ධනයත්, අධ්‍යාපන රටාවන් වෙනස් වීමත්, විවෘත ආර්ථිකය ගෝලීයකරණය වැනි හේතුන් නිසා ජනතාව අතර ඇතිවු විවිධ තරගකාරීත්වය මමත්වය හා මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ආයුධ වෙළදාම හා බලවතුන්ගේ ආධිපත්‍ය පැතිරීම ආදිය නිසා සමාජ පර්යාය බිදවැටී සිදුවු සමාජ අපගමනයන්ගේ ප්‍රතිඵලය අපරාධ හා අපරාධයේ ඇති ප්‍රචණ්ඩත්වයන් වැඩි වීමය. ඒ අනුව පොලීසියටද තම රාජකාරි වපසරිය සීමා මායිම් නොතකා නව නීති අණපනත් සමඟ රාජකාරිය කාලානුරූපව වෙනස් කර ගැනීමට සිදුවිය.

වසර 156 ක කාලයක් වෙනස්වූ පොලිසිය පොදු ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් 157 වන පොලිස් දිනයට පා තබන්නේ සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීම් හා කාලෝචිත ව්‍යාපෘති ගණනාවක් සම්පුර්ණ කරමිනි.